Latest Subtitles :

Gravity (2013) සිංහල උපසි‍රැසි සමග

2012 අවුරුද්දේ පෙබරවාරි මස 19 දින  Fright Night (2011) චිත්‍රපටයෙන් උපසි‍රැසි ගැන්වීම ඇරඹූ මම අද ලබාදෙන The Gravity (2013) චිත්‍රපටය තමයි මගේ 100 වෙනි උපසි‍රැසි නිර්මාණය වෙන්නෙ.මුලින්ම මතක් කරන්න ඕන සූම් වෙබ් අඩවියේ ඇඩ්මින් වන HEDZ ව.මා සමග සහයෝගයෙන් උපසි‍රැසි නිර්මාණය කල සියළු දෙනාවමත්,මගේ උපසි‍රැසි ගැන්වීම් වලට වචනෙකින් හරි අදහස් දක්වා මා දිරිමත් කල නොකල සියළු දෙනාටමත් ස්තූතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා.

පෘථිවියෙන් එපිට වන අනන්තය වන් වූ අභ්‍යවකාශයේ සුවිසැරියක් සදහා පිටත්ව යන ධීර වීර ගගනගාමීන් කණ්ඩායමකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවන්නේ තමන්ට කිසි විටෙක හෝ අත් විදීමට සිදු වෙතැයි ඔවුන් කිසිසේත්  නොසිතූ බියකරු සිදුවීම් පෙළකටය.එය කෙතරම් බියකරු හා අස්භාවික වේද යත් ඇතැම් විටෙක ඒ මෙම ශක්තිමත් පෞරුෂයෙන් හෙබි අභ්‍යවකාශගාමින්ව හැඩවීමටද සිනහා ගැන්වීමටද,තවත් විටෙක සිය කුරිරු වූ දෛවයට ශාප කිරීමටද ඔවුන්ව පෙළඹවීමට තරම් එම සිදුවීම් ප්‍රබලය.අභ්‍යවකාශයේ මං මුලා වී බොද වූ ජීවිත සිහිනය ජය ගැනීමට වෙර දරන අභ්‍යවකාශගාමින් දෙදෙනෙකුගේ කතා පුවත ‍රැගත් අග්‍රගණ්‍ය සිනමා සිතුවමක් තමයි අද මම සිංහල උපසි‍රැසි සමගින් ලබා දෙන්නෙ.මේක මෙච්චර දෙන්න පරක්කු වීම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.කමක් නෑ අපි කතව පැත්තට හැරෙමු.

ග්‍රැවිටි චිත්‍රපටයට කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ අභ්‍යවකාශ මෙහෙයුමක් අතරතුරදී ෂටලය සමග තමන් සම්බන්ධ කෙරෙන ‍රැහැන ගිලී ගොස්,පෘථිවිය සමග වන සබදතාවය ද බිද වැටී තෙරක් නොමැති අභ්‍යවකාශය තුළ අතරමං වන ගගනගාමී වෛද්‍ය ඉංජිනේරුවරියක වන (සැන්ඩ්‍රා බුලොක්) හා බොහෝ පළපුරුදුකම් ඇති කෘතහස්ත අභ්‍යවකාශ ගාමියෙකු (ජෝර්ජ් ක්ලූනි) විසින් ශුන්‍ය ගුරුත්වයකදී මුහුණ දෙන අභියෝගත්,යළිත් පෘථිවියට හෝ වෙනයම් ආරක්ෂිත අභ්‍යවකාශ යානයකට ළගාවන තුරු ජීවිතය ‍රැක ගැනීමට දරන අසීරු ප්‍රයත්නයත් වටාය.ගුරුත්වය ශුන්‍ය වූ අවකාශයක් කේන්ද්‍ර කරගනිමින් මෙතක් ලොව බිහි වූ පළමු සිනම කෘතිය වන්නේ මෙම චිත්‍රපටයයි.

අධ්‍යක්ෂක ඇල්ෆොන්සෝ කුළුරන් සිනමා රූපණ ශිල්පී එම්මැනුවෙල් ලුබෙස්කි හා ශුන්‍ය ගුරුත්වය පාදක කරගත් ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටයේ දෘෂ්‍ය ප්‍රයෝග අධීක්ෂණය කිරීමේ අභියෝගය කරට ගනිමින්, කළ නොහැකි යැයි සම්මත සීමාවන පවා පරයා යමින් දෘෂ්‍යමය වශයෙන් පෙර නොවූ විරූ වින්දනීය සිනමා ඇත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ලබා දීමෙහිලා කැප වූ ටිම් වෙබර් වැන්නවුන් විසින් ග්‍රැවිටි සිනමාරූපිය යථාර්ථයක් බවට පත් කිරීමෙහිලා විදි ගැහැට පිලිබදව චිත්‍රයක් ද බුලොක් හා ක්ලූනිගෙ අභ්‍යවකාශ සුවිසැරිය ඔස්සේ ප්‍රේක්ෂකයාට තිලිණ කිරීම ග්‍රැවිටි චිත්‍රපටයේ ඇති එක් සුවේශේෂත්වයකි.එය විස්මිත තාක්ෂණිකමය ප්‍රයෝගයන්ගෙන්ද ලෝකෝත්තරත්වය ඉක්ම වූ දිව්‍යමය අංග රචනයෙන්ද කෙතරම් පරිපූර්ණ ද යත්,එය සිනමාවට නැගීම සදහා ගත වූ සිව්වසරක කාලය මුළුල්ලේ,ඒ වෙනුවෙන් හෙළන ලද රුධිරය ,දහදිය  හා කදුළු මුසු පරිශ්‍රමයන් පිලිබදව යම් ඉගියක් හෝ පළ නොකරන තරම්ය.

ශුන්‍ය වූ ගුරුත්වයක හිදිමින් සිනමාම්බරයේ ගුරුත්ව නියමයන් අභියෝගයට ලක් කරමින් ඉමහත් පෙරළියක් සිදු කළ ග්‍රැවිටි හි අධ්‍යක්ෂක ඇල්ෆොන්සෝ කුළුරන් පවසන ආකාරයට එය නිර්මාණය කිරීම වූ කලි දුෂ්කරතා බාධක මඩමින් සිදු කල සංචාරයක් බදු බවය.හරියටම කියනවනම් අභ්‍යවකාශයේ ඉවක් බවක් නොමැතිව එහා මෙහා ගමන් කරන්නා වූ මිනිසා විසින්ම අභ්‍යවකාශයට බැහැර කළා වූ බිදි ගිය චන්ද්‍රිකා,අභ්‍යවකාශ යානා ආදියේ දැවැන්ත කොටස් වැනි අභ්‍යවකාශ කැලි කසළ (Space Junk) ආදියෙන් බුලොක් හා ක්ලූනිට ග්‍රැවිටි හිදී එල්ල වූ දුෂ්කරතා හා සමාන වූවකි.මේ බව ව්‍යංගාර්ථයෙන් හැදින්වීම සදහා චිත්‍රපට තලය තුල මුර පදය ලෙස භාවිතා වන ලද්දේ 'සුන්බුන්ය' කුළුරන් සිහිපත් කරන ආකාරයට බුලොක් හා ක්ලූනිට අභ්‍යවකාශ සුන්බුන් වෙතින් එල්ල වූ දුෂ්කරතා මෙපමණවේද,ඒ හා සමාන වු දැවැන්ත ගැටලු හා අසීරුතාවන් ‍රැසකට ග්‍රැවිටි කාර්ය මණ්ඩලයටද මුහුණ දීමට සිදුව තිබිණි.මේ නිසාම සුන්බුන් යන මුරපදය ග්‍රැවිටි කාර්ය මණ්ඩලය අතර නිතර හුවමාරු වන වචනයක් බවට පත්ව තිබිණි.සිය පුතු ජොනාස් සමග ග්‍රැවිටි හි තිර පිටපතද රචනා කිරීමට යෙදුණු කුළුරන් පවසන ආකාරයට ග්‍රැවිටි හිදී මතු වූ දුෂ්කරතා ඇතැම් අවස්ථාවන් හිදී කෙතරම් හාස්‍යොත්පාදක සීමාවන් කරා ළගා වූයේද යත් ගැටලු හමුවේ සිනහ නොවී සිටිය නොහැකි වාතාවරණයක් උදා වී තිබුණි.

Y Tu Mama Tambien (2001),Children of Men (2006) හා සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ සියල්ලම අතුරින් විචාරක ප්‍රසාදයට වඩාත්ම ලක් වූ Prisoner of Azkaban (2004)  වැනි චිත්‍රපට ගණනාවක්ම අධ්‍යක්ෂණය කරමින් කීර්තියක් හිමි කරගත් අධ්‍යක්ෂක කුළුරන් ළමා වියේ සිටම ගුප්ත වූ විශ්වය කෙරෙහි බැදගත් සිතින් යුතු වූ අභ්‍යවකාශ නියමුවෙකු විය.

තමා සතු නොවන අංගයන්ගෙන් සිය ශක්තිය උකහා ගැනීමට සමත් ග්‍රැවිටි චිත්‍රපටය බෝම්බ,වෙඩි තැබීම්,ආවේගශීලි හඹා යෑම් ආදියෙන් තොරවුවද අති සාර්ථක වික්‍රමාන්විත ක්‍රියාදාම චිත්‍රපට තැනිය හැකි බවට හොදම නිදසුනකි.සුන්දරත්වයත් ගූඪ බවත් එකසේ කැටි කරගත් අපරිමිත වු අභ්‍යවකාශය හැරුණු කල එහි වන එකම චරිත දෙකට මුහුණ දිය  යුතු අන් සතුරෙකුද නොමැත.එම චරිත දෙක අතර වුවද දෙබස් හුවමාරු වීමක් සිදුවනුයේ ඉතාම අල්ප වශයෙන් නිසා චරිත පිළිබදව ස්වයං විග්‍රහයක යෙදීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවේ.

නමුත් කුළුරන්ට අනුව ග්‍රැවිටි හි  අදෘෂ්‍යමාන රංගනයක නිරත වන තෙවැනි චරිතයක් ද  වේ.කැමරාව තෙවන අභ්‍යවකාශගාමියෙකු ලෙස අදිසි චරිත නිරූපණයක නියැලෙන අතර එම අභ්‍යවකාශගාමියා අන් කිසිවෙකු නොව ප්‍රේක්ෂකයාමය.

ශුන්‍ය ගුරුත්වයේදී අහිමි වු භෞතික න්‍යායන්ගෙන් එකට බැදි,සුවිසල් වූ අභ්‍යවකාශයේ කෙළවරක් නොදැක පාවෙන චරිතත් සමග,නිදැල්ලේ පාවි යාමේ විරල අවස්ථාවක් ප්‍රේක්ෂකයාට ලබා දීමට කුළුරන් පියවර ගන්නා ලද්දේ ඔවුන්ගේ චෛතසික අත්දැකීමද ප්‍රාථමික අයුරින් හෝ තිරය මතට ප්‍රක්ෂේපණය කිරීමේ අරමුණ ඇතිවය.තමන් ද නොදැනුවත්වම චිත්‍රපටයේ චරිත හා මුසුවෙමින් තමන්ටද හොරා තමන් තුළම වන පරිකල්පනයෙන් පැන නගින්නාවු මනෝහර ඉදිරිපත් කිරීමකින් ප්‍රේක්ෂකයා කුල්මත් කිරීමට කුළුරන් දැක්වූ දක්ෂතාවය ග්‍රැවිටි ඔස්සේ ඔහු විසින්ම ඉදිරිපත් කරන දැවැන්ත පෙලහරක් බව ඉදුරාම කිව යුතුය.

පසුගියදා පැවැත්වුන ඔස්කාර් චිත්‍රපට සම්මාන උළෙලේ හොදම සිනමාරූපණය,හොදම අධ්‍යක්ෂණය,හොදම සංස්කරණය,හොදම දෘෂ්‍ය ප්‍රයෝග,හොදම නාද සංකලනය,නාද සංස්කරණය වැනි සම්මාන රාශියක් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත්වූ අතර වසරේ හොදම චිත්‍රපටයත් මෙය නිර්දේශ වූ අතර වෙනත් සම්මාන උළෙල්වල් හිදීද සම්මාන දිනාගැනීමට හැකි වූ සිනම සිත්තමක් ලෙස දැක්විය හැකිය.එහෙනම් තවත් චිත්‍රපටයක් සමග හමුවීමේ බලාපොරොත්තුවත් සමගම නික්ම යනවා,ඔබට සුභ දවසක්.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google